මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කල ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාව පසුගියදා (30) ජනපතිවරයාට බාරදුන් අතර එතැන් සිට රටේ බොහොමයක් පාර්ශවවල අවධානය යොමුව තිබුණේ මෛත්‍රී මඩු වලිගය අතට ගනී ද, නැද්ද කියාය. වාර්තාව ලද පසු මෛත්‍රී වේදිකාවේ දී කීවේත් තරාතිරම නොබලා තමන් කඩුව අතට ගන්නා බවය. කඩුව කෙසේ වෙතත් යුක්තියේ තරාදිය අතට ගෙන කිරා බැලීමට නීතියට ඉඩ දෙනවානම් හොඳටම ඇතිබව ජනතාව පැත්තෙන් කියවුණි.
කෙසේ වෙතත් ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා බැඳුම්කර කොමිසමේ පිටු 1247 කින් යුතු, දස මසක් තිස්සේ සකස්කල වාර්තාවේ සාරාංශය හෙළිදරව් කරමින් කියා සිටියේ බැඳුම්කර මගඩියෙන් රජයට අහිමිවූ මුදල රුපියල් කෝටි 1145 ක් බවය. අපගේ විශ්වාසය නම් එම මුදල මෙලෙස ගණන් බැලිය හැකි අගයක් නොවන බවත් පොලී අනුපාතිකයේ වෙනස සහ අනෙකුත් බාහිර ආර්ථිකමය කරුණු මෙන්ම කාලය සමගද මෙම පාඩුව තව තව වර්ධනය වනවා මිස අඩුවක් වන්නේ නැත.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි ජාතික මට්ටමේ මංකොල්ලකයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදුකොට, කොමිසකම් හරහා මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කිරීමට මග පැදීම සම්බන්ධයෙන් වත්මන් රජයට නොව ජනපතිවරයාට ගෞරවය පුදකල යුතුය. රවී කරුණානායක, රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් වැනි තමන්ව ජනවාරි 08 බලයට පත්කිරීමට විශාල වශයෙන් දායකත්වය දැක්වූ නඩයක් බෙල්ලටම හිරවෙන නඩුවක් බව දැන දැනත්, රජයට සිදුවූ පාඩුව සහ ජනතාව දූෂණයට එරෙහිවීම උදෙසා තමන් වෙත තැබූ විශ්වාසය යම්තාක් දුරට හෝ ඉෂ්ට කිරීම උදෙසා ජනපතිවරයා කටයුතු කිරීම එක් පැත්තකින් ප්‍රශංසනීයය.
එම කාසියේ තවත් පැත්තක්ද ඇත. මෙම නිර්දේශ සහිත වාර්තාවේ මුල් සවිස්තරාත්මක පිටපත තවමත් ජනගත වී නැත. ජ.වි.පෙ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇතත් තවමත් ලැබී නැත. නමුත් මතුපිටින් පෙනෙන්නට ඇති දෙයනම් ජනපතිවරයා මේ ප්‍රකාශය හරහා සිදුකර ඇත්තේ රජයට, තමන් සහ එ.ජා.ප හිතවත්කමට අවම හානි වෙන ආකාරයෙන් තොරතුරු එළියට දමා ඇති බවත්ය. මෙම නිර්දේශයන්ට අනුව අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු අධිපතිවරයා ලෙස බැඳුම්කර ගණුදෙනුවට අයථා මැදිහත්වීමක්, කොමිසමට අසත්‍ය කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත, අර්ජුන් බෑණාට අයථා ලාභ ලබාගැනීමට චෝදනා එල්ලවී ඇත, එවකට මුදල් ඇමතිවරයා වූ රවී ට අල්ලස් ලබාගැනීම, කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු එල්ල කිරීමට චෝදනා එල්ලවී ඇත. ඒ සියල්ල වටහාගත්විට දැනෙන්නේ දඬුවම් බර අඩුවෙයි දෝ යන පැනයකි.
එසේම මෙම ගණුදෙනුවට සම්බන්ධ ආයතන ගණනාවක නිලධාරීන් ගණනාවකට චෝදනා එල්ලවී ඇත. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය. ඒත් අගමැතිවරයාට, බැඳුම්කර සිදුවීම රෝල් වෙන සමයේ කෝප් කමිටුවේ සිට අර්ජුන් බෑණා සමග දුරකතනයෙන් පෙම්බස් දෙඩවූ මැති,ඇමතිවරුන්ට, බැඳුම්කර අයථා මුදල්වලින් මිලට ගත් ආයතන, අල්ලස් ගෙවූ නිලධාරීන්ට, අල්ලස් දී නම්මාගත් මාධ්‍යවේදීන් ඇතුලු පිරිස්වලට මේ වාර්තාවේ නිර්දේශ ඇතිබවක් පෙනේනනට නැත.
ඒ නිසා සරල නිර්වචන නම් මේ සියල්ල හරහා සිදුකර ඇත්තේ බරපතල ලෙස රජයට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් නොකර බැරිකමට අවම දඬුවම් නියම කිරීම සහ අඩු පිරිසක් තරහා කරගැනීම වෙනුවෙන් රවි,අර්ජුන්ලා ගේ මුව හම්වලට තඩිබෑම පමණක් බවය. තව තව නැටුම් කණ්ඩායම් එන්නට නියමිත නිසා පෙරහැර දෙස අප බලා සිටිය යුතුය.
- පොදුජන -







No comments: